Friday, 30 December 2022 14:03

ජනාධිපතිවරයාගේ ඉදිරියේ පවතින ප්‍රධාන අභියෝග ද්විත්වය : වගවීම සහ සංහිඳියාව - ජෙහාන් පෙරේරා

යාපනය බලා පිටත්ව යන රාත්‍රී බස් රථයේ ආසන සම්පූර්ණයෙන් වෙන්කර තිබිණි. විදේශගතව සිට නිවාඩුවට පැමිණ සිටි ඩයස්පෝරාවේ පිරිස නැවත පැමිණ අදහස් බෙදාගැනීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටට පත්ව සිටියහ. එක් අයෙක් පැවසුවේ සති දෙකක් කොළඹ රැඳී සිටි අතර, දැන් තවත් සති දෙකක් යාපනයේ ගත කිරීමට යමින් සිටින බවයි. ඔහු ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය සහ රටේ මිනිසුන්ගේ උණුසුම ගැන ආදරයෙන් කතා කළේය. සම්පුර්ණ මාස දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ ගතකිරීමට තම සුදානමින් සිටින බව ඔහු සඳහන් කළේය.

කොළඹ සහ යාපනය නගර මධ්‍යස්ථානවල මෙන්ම මහනුවර, ගාල්ල සහ මඩකලපුව වැනි අනෙකුත් නාගරික මධ්‍යස්ථානවල ද නත්තල වෙනුවෙන් සිදුකෙරෙන ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දැකගත හැකි විය. කොළඹ මාර්ගවලද සලකිවයුතු වාහන තදබදයක් නිර්මාණය වූ අතර මිනිසුන් විශාල වශයෙන් එක්රැස් වූ වෙළඳසැල් ද දැකගත හැකි විය. කොළඹ මෙන් මාර්ග තදබදයක් නොතිබුණද, සාප්පු සවාරි යන මිනිසුන්ගෙන් පිරී ගිය යාපනයේ ද තත්වය එසේම දිස් විය. නිවාඩු කාලය සඳහා යාපනයේ හෝටල් සම්පූර්ණයෙන්ම වෙන්කරවා ගෙන ඇති අතර, බොහෝ මධ්‍යස්ථ මිල ගණන් පවතින හොඳ තත්වයේ හෝටල්වල එක් කාමරයක්වත් ඉතිරිව නොතිබිණි.

යාපනයේ අධ්‍යාපන මධ්‍යස්ථානය වන යාපනය විශ්වවිද්‍යාලය සිසුන්ගෙන් පිරී තිබිණි. අන්තරජාලය ඔස්සේ පාඨමාලා පවත්වන අනෙකුත් සමහර විශ්ව විද්‍යාල මෙන් නොව, යාපනය විශ්ව විද්‍යාලය සිය පාඨමාලා වාචිකව නොව සරසවියේ මුහුණට මුහුණලා පැවැත්වීමට තීරණය කර ඇත. විශ්ව විද්‍යාලය තුළ ශාරීරික හිංසනයන් සහිත බිහිසුණු නවක වදය පිටුදැකීමේ දී ශක්තිමත් නායකත්වයක් පෙන්නුම් කර ඇති අතර, එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනකු විසින් ආරම්භ කරන ලද ප්‍රජා මුළුතැන්ගෙයක් ක්‍රියාත්මක කෙරෙනු ලැබෙයි. අනෙකුත් සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පැමිණීමේ අඩුවීමක් දක්නට ඇත්තේ සිසුන්ට තම ආහාර සහ නවාතැන් සඳහා වන අධික වියදම් පියවා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙනි. ජනවාර්ගික පදනමින් එකිනෙකා සමඟ ගැටුණු හෝ දේශපාලන හේතුන් මත පරිපාලනය සමඟ ගැටුණු අතීතයේ මෙන් නොව, මේ වන විට යාපනය විශ්ව විද්‍යාලයේ වත්මන් වෙනස්වීම සිදුව ඇත්තේ නාටකීය ස්වරුපයකිනි. සිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන යහපත් නායකත්වය මෙම වෙනසට හේතුවී තිබේ.

කෙසේ වෙතත්, මෙය රටේ පවතින එකම යථාර්ථය නොවේ. විශාල ලෙස පිටතට නොපෙනෙන නමුත්, බහුතර ජන ජීවිතයට බලපාන තවත් යථාර්ථයක් තිබේ. පසුගිය වසර පුරාවට ආර්ථිකය කඩාවැටීම ජනගහණයේ විශාල කොටසක ජීවිතවලට දුක්ඛිත තත්ත්වයන් උදාකර දී ඇත. ආදායම ස්ථාවරව තිබියදී පවා මිල දෙගුණයකින්, තුන් ගුණයකින් වැඩි වීම නිසා විශාල පිරිසකට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකි වී ඇත. ඔවුන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ සිය ඉතිරිකිරීම් සහ ණය ගැනීම් උපයෝගී කරගනිමිනි. නව වසරේ තම දරු වන් පාසල් වෙත යැවීමට සූදානම් කිරීමේදී දැරීමට සිදුවන පීඩනයත්, අභ්‍යාස පොත් සහ ඇඳුම් පැළඳුම් සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමත් විසින් නැවත වරක් විරෝධතා මතුකිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජය මෙතෙක් තම ජනතාව කෙරෙහි කිසිදු සැලකිල්ලක් දැක්වීමට අපොහොසත් වී ඇත.

පළමු අභියෝගය
රටේ බහුතර ජනතාව උග්‍ර ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින වර්තමාන තත්ත්වය තුළ, පැරණි දූෂණ ක්‍රියා සහ වගවීම නොමැතිකම තවදුරටටත් අඛණ්ඩව පැවතීම ඛේදවාචකයකි. ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් සහ විනිවිදභාවයක් නොමැති බව පෙනී යන අර්බුදකාරී තත්වයක් මේ වන විට පවතින බව පෙනෙන්නට තිබේ. මෙම අපකීර්තිය සිදුව ඇත්තේ, මීට පෙර අනවශ්‍ය ලෙස ඖෂධ ඇණවුම් කිරීමේ සිදුවීමක් සමගිනි. රට උග්‍ර විදේශ විනිමය හිඟයක සිරවී තිබියදීත්, අතිරික්ත කොවිඩ් එන්නත් තොගයක් භෞතික වශයෙන් විනාශ කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම සෙවීමේ ක්‍රියාවලියක වගකිවයුතු පාර්ශව දැන් නිරතව සිටී. දූෂිත භාවිතයන් යුතු තවත් ටෙන්ඩරයක් සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන් පවසන්නේ, එම ටෙන්ඩරයේ ගැටලු හේතුවෙන් ගල් අඟුරු මිලදී ගැනීමක් සිදු කර නොමැති බවත්, කඩිනමින් ගැටලුව විසඳා නොගත හොත් ජනතාව මිට පෙර පාරට වැටුණු ආකාරයේ පැය 10 ක විදුලි කප්පාදුව යළි නිර්මාණය වනු ඇති බවත්ය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නත්තල් පණිවුඩයේ, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත සමාජයන්, ජන ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ කිහිපයක් ලබාදී ඇත. සම්පූර්ණ ලේඛනය : <https://www.vatican.va/content/francesco/en/speeches/2022/december/documents/20221222-curia-romana.html> මෙම දිගුව මගින් ප්‍රවේශ විය හැක. පාප්තුමාගේ පණිවිඩය ලියා ඇත්තේ සංකීර්ණ නොවන ආකාරයට බැවින් එය තේරුම් ගැනීමට අපහසු නැත. පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට අදාළ වන එහි ප්‍රධාන තේමාවන්ගේ කෙටි සාරාංශයකි. පළමුවැන්න වගවීම පිළිබඳ ප්‍රශ්නයයි. ගැටලුව මතුවන්නේ වගවීමේ මූලධර්මය ක්‍රියාත්මක නොකරන හෝ විශ්වාස නොකරන පුද්ගලයන් බහුතරයක් සමාජයේ සිටීමය.

විශ්වීය වන මෙම ගැටලුව හඳුනා ගනිමින් පාප් වහන්සේ පවසන්නේ “අප අතර නිහඬව සැඟවී සිටින නපුර හෙළා දැකීම ප්‍රමාණවත් නොවේ...තවත් හෙළා දැකීමෙන් සිදුවන්නේ අප ගැටලුව විසඳා ඇති බවට මිත්‍යාවක් ඇති කිරීම පමණකි” යනුවෙනි. එසේම, ශ්‍රී ලංකාව තුළ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වගවීමේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරි මාවත තීරණය කිරීමට සිදුවනු ඇත. මෙය ඔහු හමුවේ ඇති පළමු අභියෝගයයි. දූෂණය, වගවීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීම හෝ වේවා, මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් නිශ්චිත අධිෂ්ඨානයක් පෙන්නුම් කර නැත. ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් මුහුණ දෙන පුරවැසිභාවය පිළිබඳ ගැටලුව තවමත් නොවිසඳී පවතී. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම යහපාලනයේ සහ යහපත් හැඟීමේ ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට ලක්විය. මේ වන විට රජයෙන් නිකුත් වන සංඥා පෙන්නුම් කරන්නේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීම ඉතාම සෘණාත්මක මට්ටමකින් පවතින බවයි.

දෙවන අභියෝගය
පාර්ලිමේන්තුවේ සමහර ක්‍රියාදාමයන් නීතියට ඉහළින් පවතින බවට වන පාලක පන්තිය විශ්වාස විසින් නීතියේ ආධිපත්‍යයට අගෞරවයක් ඇති කරනු ලබයි. පාප් වහන්සේ අනතුරු අඟවන්නේ, “ආයුධ භාවිතයෙන් සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයට අමතරව, වාචික අපයෝජනය, බලය අයුතු ලෙස භාවිත කිරීමේ ප්‍රචණ්ඩත්වය සහ ඕපාදූපවල සැඟවුණු ප්‍රචණ්ඩත්වය ද ඇත” යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත්, 2009 දී හමුදා යුධ පිටියේ අවසන් වූ යුද්ධය විසින් සාමය සහතික කර ඇති බවක් අදහස් නොකෙරේ. මන්ද ප්‍රචණ්ඩත්වයට විවිධ ස්වරූපයන් ගත හැකි බැවිනි. පාප් වහන්සේ ඉල්ලා සිටින්නේ “... පුද්ගලයන් සහ ආයතන, නිශ්චිතවම ඔවුන් මනුෂ්‍යයන් බැවින් ඔවුන් ද පාලනය විය යුතු බව පිළිගත යුතු” බවයි. ජනාධිපති වික්‍රමසිංහ මහතාට ජයගත යුතු දෙවැනි වැදගත් අභියෝගයක් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම දේශපාලන විසඳුමක් හරහා විසඳා ගැනීමයි. මීට පෙර සිටි නායකයන් වසර 75කට ආසන්න කාලයක් අසාර්ථක වුවද, ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට පෙර තමා එම කාර්යය ඉටු කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම එකඟතා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට එරෙහිව සැලකිවයුතු නරුමත්වයක් මෙන්ම විරෝධයක් ද ඇත. වගවීමේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙතෙක් ඔහු අසමත් වීම, ඔහු මෙහිදීද අසාර්ථක වීමට හේතු ලෙස දක්වා ඇත. දූෂණය සහ සදාචාරාත්මක කැළඹීම ශ්‍රී ලංකාවට අසාමාන්‍ය නොවේ. එවැනි තත්වයන් ලෝකයේ වෙනත් තැන්වල ද දක්නට ලැබේ. මේවා සැහැල්ලුවෙන් විසඳාගත යුතු හෝ එක වර සිදුවන අපගමනයන් සේ බැහැර කළ යුතු ප්‍රශ්න නොවේ. ප්‍රශ්නය වන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, මෙම තත්ත්වයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. වසර 15 කට පෙර ශ්‍රී ලංකාව හැර ගිය ඩයස්පෝරාවේ අමුත්තා(ආරම්භයේදී කී) පැවසුවේ රටේ මෙම ආර්ථික තත්ත්වය සහ දේශපාලනය නොවන්නට, ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්තයට වඩා ජීවත් වීමට හොඳ ස්ථානයක් වනු ඇති බවයි.

සිංහල ගම්මාන පිළිබඳව සම්භාව්‍ය නවකතා ලියූ බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරි ලෙනාඩ් වුල්ෆ් ශ්‍රී ලංකාව නැඟෙනහිර ස්විට්සර්ලන්තය බවට පත්විය හැකි බවට අනාවැකි පළ කළේය. 1938 දී යටත් විජිත ආණ්ඩුවට සංදේශයක් යවමින්, ඔහු එවකට ලංකාවේ සිටි සියලුම ප්‍රජාවන්ගේ ජනගහණ විස්තර පැහැදිලි කළ අතර, මෙරටට ගැලපෙන ෆෙඩරල් ක්‍රමයක් සඳහා වූ ඔහුගේ නිර්දේශයන් යුක්ති සහගත කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ එක් එක් ප්‍රාන්තයේ ප්‍රමාණයන් සහ ජනගහණය සමඟ සංසන්දනය කළේය. බලය බෙදා හරින ලද හෝ ෆෙඩරල් පාලන ක්‍රමයක හරය නම්, ප්‍රාදේශීය මට්ටමින් මිනිසුන් විවිධත්වයේ නියෝජිතයන් බවට පත්වීමයි. දේශපාලනික නොවන සහ පරිපාලන මට්ටමින්, යාපනය විශ්ව විද්‍යාලය සිසුන් සිය ගණනකට පෝෂ්‍යදායී ආහාර වේලක් සොයා ගත හැකි ප්‍රජා මුළුතැන්ගෙයක් පවත්වාගෙන යෑමට අරමුදල් සැපයීමේ වගකීම භාරගනිමින් ඉදිරි මාවත පෙන්වා දී ඇත. මේ මොහොතේ සිවිල් සමාජයේ සහ සියලුම පුරවැසියන්ගේ කර්තව්‍යය වන්නේ “හුදෙක් නපුරෙන් වැළකීම නොව, අපට කළ හැකි සියලු යහපත් දේ කිරීම” බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නත්තල් පණිවිඩයෙන් පෙන්වාදී ඇත. එය එක් අතකින් යාපනය විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිදුකරන ආකාරය හා සමානය. ජාතික ප්‍රකෘතිය සඳහාවන ප්‍රධාන සැලැස්මක් අපට තවම දැකගත නොහැකි බැවින්, ඉදිරි ගමන මෙය විය හැකිය.